15/09/2026
https://www.facebook.com/share/p/1GNpdvwmQT/
කතාවට, භාෂාවට, සන්නිවේදනයට බලපාන ගැටළු - 10
අපේ බබාට ඩිස්ලෙක්සියා කියලා කිව්වා. ඒ මොකක්ද ? බබාට කියවන්න ගියාම වරදිනවා. ඉගෙන ගන්න බැරි දෙයක්ද මේක. එතකොට අපේ බබාට මොකද වෙන්නේ ?
මෙන්න මෙහෙම අහන අයටයි මේ සටහන. අනිත් අයත් දැනගන්න එක හොදයි. මොකද නැතිනම් ඔබේ දරුවාගේ මිතුරා හෝ මිතුරිය මේ තත්ත්වයේ වුනොත් ඔබ කියන්න ඉඩ තියෙනවා “ එයාව ආශ්‍රය කරන්න එපා, ඒ ළමයට වැඩ බෑනේ” කියලා. ඔව් ඇත්තටම මෙහෙම කියන අය ඉන්නවා. ඉතින් එහෙම ආශ්‍රය කළා කියලා බෝ වෙන්න මේක කසන ලෙඩක් එහෙම නෙමෙයි හොදේ.
කොහොම වුනත් හරි සරලවම ඩිස්ලෙක්සියා ගැන කිව්වොත් ඒක ඉගෙනීමේ ආබාධ වර්ගයක්. ඉගෙනුම් දුෂ්කරතා කියලා අපි හදුන්වන තත්ත්ව කීපයක්ම තියෙනවා. මේ එයින් එකක්. හැබැයි මේක ටිකක් ඉක්මනින් හදුනා ගන්න හින්දා මේ ගැන සමාජයේ කතා වෙනවා වැඩියි.
ඉගෙනුම් දුෂ්කරතා තත්ත්ව තියෙන බබාලට වචන හෝ අංක සැකසීමේ ගැටලුවක් තියෙනවා. ඩිස්ලෙක්සියා වලදී ප්‍රධාන වශයෙන්ම බබාට ඉගෙන ගන්න ඕනේ වුනත් කියවන්න ඉගෙන ගන්න එක එයාට අමාරු වෙනවා. මේක තමයි පිටතට පේන ලක්ෂණය වෙන්නේ.
ඩිස්ලෙක්සියා කියන්නේ රෝගයක් නෙමෙයි. ඒ වගේම ඒක සැලකෙන්නේ උපතින්ම ඇති වන තත්වයක් විදියට. හැබැයි චූටිම චූටි බබාලා අකුරු කියවන්නේ නැති නිසා මේ තත්ත්වය පේන්න ගන්නේ එයා අකුරු කියවන වයසට ආවට පස්සේ. මේ තත්ත්වය පවුල් ඉතිහාසයෙන් එන බව තමයි දැනට සොයාගෙන තියෙන්නේ. හැබැයි මේ අය මෝඩ හෝ කම්මැලි අය කියලා හිතන්න එපා. සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකුට සාමාන්‍ය හෝ සාමාන්‍යයට වඩා ඉහළ බුද්ධියක් තියෙනවා වගේම එයාලගේ දුෂ්කරතාවය සහ කියවීමේ ගැටළු මගහරවා ගන්න මහන්සි වෙලා වැඩ කරන්න එයාලට පුළුවන්.
මොළයේ තොරතුරු සකසන ආකාරයෙහි වෙනසක් නිසා ඩිස්ලෙක්සියා තත්ත්වය ඇතිවන බව පර්යේෂණවලින් පෙන්වලා තියෙන්නේ. මොළයේ පින්තූර වලින් පරීක්ෂණ කරපු අය කියන්නේ “ඩිස්ලෙක්සියා සහිත පුද්ගලයින් කියවන විට, ඔවුන් ඩිස්ලෙක්සියා නොමැති පුද්ගලයින්ට වඩා මොළයේ විවිධ කොටස් භාවිතා කරනවා” කියලයි. ඒ වගේම මේ අයගේ මොළය කියවීමේදී කාර්යක්‍ෂමව ක්‍රියා නොකරන බවත් මෙම පින්තූරවලින් පේනවා කියලා කියනවා. ඒ නිසා තමයි එයාලාගේ කියවීමේ හැකියාව මන්දගාමී සහ සෑහෙන්න වෙහෙසක් දරන්න ඕනේ ක්‍රියාවක් වෙලා තියෙන්නේ.
බොහෝ දරුවන් කියවීමට ඉගෙන ගැනීමට පටන් ගන්නේ කථන ශබ්දයන් වචන සෑදෙන ආකාරය (ශබ්දමය දැනුවත්භාවය) ඉගෙන ගැනීමෙන් පසුව එම ශබ්ද හෝඩියේ අකුරු (උච්චාරණ) වෙත සම්බන්ධ කරලා. එතකොට එයාලා ඒ ශබ්ද වචන වලට මිශ්‍ර කරන්නේ කොහොමද කියලා ඉගෙන ගෙන, අවසානයේදී මීට පෙර බොහෝ වාරයක් දැක ඇති වචන හඳුනා ගන්නවා. මේක තමයි සිද්ධාන්තය.
ඩිස්ලෙක්සියා සහිත දරුවන්ට ශබ්ද පිළිබද අවබෝධයේ ගැටළු තියෙනවා. ඒ නිසා තමයි එයාලගේ කියවීමේ හැකියාව අනිත් බබාලාගේ වගේ ස්වයංක්‍රීයව ගලාගෙන යනවා පෙන්නේ නැත්තේ. ඒ වගේම එයාලගේ කියවීමේ හැකියාව වේගය අඩු සහ වෙහෙසකාරී දෙයක්. ඉතින් එතකොට කියවීම පටන් ගද්දිම බබාට පීඩාකාරී වගේම එයාට මේ වැඩේට ලොකු සටනක් දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා බබා දුක්වෙන්නයි කලකිරෙන්නයි පුළුවන්.
සාමන්‍යයෙන් කියවීම කියන්නේ බයිසිකලයක් පදිනවා වගේ දෙයක්. එකම වෙලාවේ එකපාර වැඩ කීපයක් එකට කලොත් තමයි බයිසිකලය පැදෙන්නේ. අපි පොඩි කාලේදී “දන්නෙත් නැතුව වගේ ස්වයංක්‍රීයව” කියවීම, ඉගෙන ගෙන තියෙන නිසා අපිට මේක නොදැනුනාට ඩිස්ලෙක්සියා සහිත දරුවන්ට මේ කොටස් ඔක්කොම එකට යොදාගෙන යන්න හරි අමාරුයි. ඩිස්ලෙක්සියා නැති අපිට මේ වැඩේ පහසු නිසා කියවලා තේරුම් ගැනීමට සහ මතක තබා ගැනීමට පහසුවෙන් අපේ මානසික ශක්තිය යොමු කරන්න පුළුවන්. ඩිස්ලෙක්සියා සහිත දරුවන්ට ඒක තවත් විශාල වැඩක්.
පෙර පාසල් සහ ප්‍රාථමික පාසල් වල දරුවන්ට පහත දේවල් වල දුබලතා තියෙනවා නම් ඩිස්ලෙක්සියා ද කියලා සැකහැර දැනගෙන අවශ්‍ය දේ කරනවා නම් ඒක එයාලට ලොකු පහසුවක්.
* කතා කිරීමේ ගැටළු
* වචන උච්චාරණ ගැටළු, විශේෂයෙන්ම ටිකක් දිග වචන
* තාලයට යමක් කියන එක අසීරු වෙන්න පුළුවන්
* හෝඩිය පිළිවෙලට කියන්න, සතියේ දවස්, ඉලක්කම් පාට වර්ග වගේ දේවල් වල ගැටළු තියෙන්න පුළුවන්
* අකුරු සහ ශබ්ද ඉගෙනීම දුර්වල වීම
* බබාගේ නම කියවන්න සහ ලියන්න බැරිනම්
* අකුරු එකතු වෙලා වචන හැදෙන හැටි හෝ ශබ්ද එකතු වෙලා අකුරු වලින් එක්වෙන හැටි හදුනා ගන්න අමාරු නම්.. උදාහරණයක් විදියට “ම” , “ල”, “මල” විදියට ඉගෙන ගන්න අමාරු වෙන්න පුළුවන්.
* සරල වචන ශබ්ද කිරීම පවා (කියවීම) අසීරු නම්
* අක්ෂර වින්‍යාසය, නිවැරදි අකුරු අනුපිළිවෙලට වචන නොකියවීම. උදාහරණ මල වෙනුවට ලම ලෙස කියවන්නේ නම්.
* අත් අකුරු සහ සියුම් චාලක හැකියා වල පවතින දුබලතා ත් ලක්ෂණ විදියට තියෙන්න පුළුවන්.
* බබාගේ වයසේ සාමාන්‍ය මට්ටමට වඩා බොහෝ පහළින් කියවීම සහ අක්ෂර වින්‍යාස කුසලතා පෙන්වීම හුගක් ඩිස්ලෙක්සියා දරුවන්ව හදුනා ගන්නා තැන.
* ඒ වගේම එයාලා කියවීම සහ ලිවිම මගහරින්න උත්සාහ කරන්න පුළුවන්.
* පැහැදිලිව පෙනෙන දෙයක් විදියට කියවීම සහ ලිවීම ඉතා සෙමින් කිරීමත් තවත් භාෂාවක් වගේ දෙයක් ඉගෙනීම අසීරු වීමත් සදහන් කරන්න පුළුවන්.
ඩිස්ලෙක්සියා තත්ත්වය තියෙන දරුවන්ට ඔවුන්ගේ සම වයසේ මිතුරන් තරම් තමන් බුද්ධිමත් නෑ කියලා හිතන්න ඉඩ නොතියන එක වැඩිහිටි අපේ වගකීමක්. වයසින් ඉහල යනකොට පාසල් වැඩ වැඩි වෙද්දී තත්ත්වය තවත් අමාරු වෙන්න වගේම එයාලා මානසිකව වැටෙන්න තියෙන අවස්ථාව ඉහලයි.
නිවසේදී කියවීමට දිරිගැන්වීම සහ උපකාර කිරීම මගින් ඔබේ දරුවාගේ උත්සාහයට සහාය වීම ඉතාම වැදගත්. ක්‍රීඩා, විනෝදාංශ, සංගීතය, චිත්‍ර සහ නාට්‍ය වගේ වෙනත් ක්ෂේත්‍රවල විශ්වාසය ගොඩනඟා ගැනීමට සහ සාර්ථක වීමට ඔබේ දරුවාට අවස්ථා ලබා දීමට උත්සාහ කරන්න. කලාකරුවන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්, විද්‍යාඥයන්, ව්‍යවසායකයින් සහ රාජ්‍ය නායකයන් සියලු දෙනාම කියවීමේ දුෂ්කරතා මධ්‍යයේ වුවද විශිෂ්ට දේ අත්කර ගැනීමට සමත් වී ඇති බව දරුවාට පවසන්න.
ඔබේ දරුවාට ඩිස්ලෙක්සියා ඇති විය හැකි යැයි ඔබ සිතන්නේ නම්, ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කරන්න. කියවීමේ ගැටලුවක් ඉක්මනින් සොයාගත් තරමට, ඉක්මනින් ඔබේ දරුවාට නිසි උපකාර ලබා ගත හැකිය.
වැඩිහිටියන් විදියට ඔබ සැම මෙවැනි දරුවෙකු දුටු විට ඔවුන් අපහසුතා වලට ලක් නොකිරීමේ ගුණාංගය ඔබේ දරුවන්ට කියා දෙන ගමන්, මේ වගේ තත්ත්වයකට එකවරම මුහුණ දීපු අලුත් අම්මෙක් ට තාත්තෙක් ටත් අවශ්‍ය සහයෝගය නිරතුරුව ලබා දෙන්න. ඔවුන්ව දිරිමත් කරන්න අමතක කරන්න එපා.
විද්‍යාත්මක කරුණු තේරුම් ගැනීමේ පහසුව වෙනුවෙන් සරලව දක්වා ඇත.
උපුටා ගැනීමෙන් වලකින්න.
මම;
සචින්තනී අමුගොඩ
කථන ව්‍යාධිවේදිනී | ළමා හා යොවුන් මනෝ උපදේශිකා
ළමා අභිවර්ධන සහ යහසාධන සායනික අධ්‍යක්ෂ – SANDEEPA Energizing Group
🇱🇰 සායනික විශිෂ්ටත්වය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සායනික සන්නාමය
© www.rehabilitation.lk | Est. 2012